ගප්පියා කියල වර්චුවල් චරිතයක් එකපාරටම යූ ටියුබ් හරහා මතුවෙනවා. ඒක හරි වේගවත් සහ ගප්පියා යන ගමනට සහ ඔහු අප්ලෝඩ් කරන වීඩියෝවලට ගොඩාක් අය අනුරාගී වෙනවා. කොටින්ම ගප්පියට ඔන්ලයින්වලින් එළියට බැහැලා අවුරුදු උත්සව, ආදර උත්සව විතරක් නෙවෙයි ටීවී හවුස් අස්සෙත් රිංගන්න වෙනවා. ඒවා ඒ විදියට වෙනකොට ගප්පියගෙ යූ ටියුබ් පිටුවටත් ලයික් තො ගණන්වලින් වැටෙන්නෙ.
කාලයක් තිස්සෙ ලංකාවෙ අන්තර්ජාලය වැඩකරන විදිය ගැන පොඩ රිසර්ච් එකක් කරමින් සිටින නිසාම ගප්පියව අපි ප්ලේස් කරල තිබුණේ සංස්කෘතික කලාපය තුළ. ගප්පියා දේශපාලන කලාපය තුළ ප්ලේස් කළානම් ඒ දවස්වලට ගප්පියට ගහල කුඩු කරන්නත් තිබුණා. උදාහරණ විදියට ගප්පිය බටහිර ලෝකය දිහා බලන බැල්ම සහ ගප්පිය ජාතිය ගැන ජාතික කොඩිය ගැන කතාකරන දේවල් ගැලපෙන්නෙ නෑ. ඒත් එහෙම වෙනස් දෙයක් කරන්න උත්සාහ කරන චරිතවල තියෙන පොඩි අඩුපාඩුකම් දැකල කුඩු කිරීමේ උවමනාවක් හෝ පුරුද්දක් වැනි ලෙඩක් සමහර වාමාංශිකයන්ට තිබුනට අපිට නෑ. අපි ඒ රෝගයට බෙහෙත් අරන් පාලනය කරලා දැන් ටිකක් කල්.
අපි කියාගෙන ආවෙ ගප්පියා ගැන. ඔහොම කාලයක් ගියා. ගප්පියා ඔන්ලයින් ස්ටොර්ස් වලටත් ආවා. ටී ෂර්ට් විකුණුනා. හොඳයි…
හැබැයි ගප්පියට තිබුණා එක මොහොතකින් පස්සෙ ඔප්ෂන් දෙකක්. පළමුවැන්න ඔය වීඩියෝ හැදීම නවත්වන්න. දෙවැන්න වෙනත් ක්‍රියේටිව් ෆ්ලැට්ෆෝම් එකකට තමන්ව අප්ගේර්ට් කරන්න.
අපි මේ කියන දේ හැම ආටිස්ට් කෙනෙකුටම පොදුයි. ධර්මසිරි නැවත ෆිල්ම් හදන්නෙ නැති එක ගැන අපට තියෙන්නෙ ගෞරවයක්. හේතුව, තමන්ට තේරෙනව නම් තමන් කරන කලාව තුළ සූර්තාන්තිකව සීමාව පහුකළා කියල වැඩ නවත්වන එක තමා හොඳ. එහෙම නොකරන සියලු කලාකරුවො මියයන්නෙ තමන් කරපු හොඳම වැඩ සම්බන්ධ මතකයන් ප්‍රේක්ෂකයන්ට දීල නෙවෙයි. තමන් අතින් බාගෙට වෙච්ච වැඩවල මතකය එක්ක.
එම්එස් හරි ජෝතිපාල හරි දැන් හිටිය නම් ස්ල්ෆ්ලවර් සමග කැසට් එකකකුත් ගහල, අර 70 දශකය තුළදි ඔවුන්ගේ සංගීතයට ආපු ජෑස්, පොප්, ටියුන් වෙනුවට 90 න් පස්සෙ ලංකාවෙ සංගීතයට ආපු ඔක්ටපෑඩ් ටියුන් සමග තියෙන සින්දු ටිකක් තමයි අපට ඉතිරි වෙන්නේ. අපි මේ කියන්නෙ ඔවුන් මියගිය එක හොඳයි කියල වගේ අදහස් නෙවෙයි. අපි කියන්නෙ කලාව කරනකොට නවත්තන්නෙ කොතනද කියල අදහසක් තියෙන්න ඕන.
නැවත සෙක්සිස්ට් ගප්පියාට,
ගප්පිය ඔය දෙකම නොකර තවම පරන පුරුදු විදියටම වීඩියෝ කෑලි කරමින් සිටිනවා. අන්තර්ජාලය ආර්ට් කරන්න ෆ්ලැට්ෆෝර්ම් එකක් විදියට තෝරගන්නවා නම් අපි තේරුම් ගන්න ඕන ඒක කොච්චර වේගවත් ද කියලා. ගප්පියට කියන්න පුලුවන් තවම වැඩ පටන් ගත්ත විතරයි කියලා. නමුත් අන්තර්ජාලය තුළ වැඩ පටන්ගත්ත ගමන්ම තමයි ඉවර වෙන්නේ. අන්තර්ජාලය තේරුම් ගන්න වෙන්නෙ එහෙම. දැන් වෙන දේ ගැන අපි ගප්පියා උදාහරණයෙන්ම තේරුම් ගනිමු.
ගප්පිය කිව්වේ,
‘…. මටත් ඕනෙ රැප් කරන්
පොරක් වෙන්න….’
ගප්පිය ඒ වැඩේ කලා. ඇත්තටම ගප්පියා පෙන්නුවා පොරක් වෙන්න වර්චුවල් ස්පේස් පාවිච්චි කරන්නෙ කොහොමද කියලා. ඒක කාලයක් තිස්සෙ ෆිල්ම් කරන අපේ සිනමා මිත්‍රයන්ට ටිකක් අධ්‍යයනයක කළයුතු වැඩක්. අපි යෝජනා කරනවා.
නමුත් වැඩේ උනේ වර්චුවල් ස්පේස් එකේදී වැඩ නවත්තන්නෙ කොතනද කියල අදහසක් නැතිඋනොත් ඒක ඇතුළෙම සංස්කෘතිව අනාථ වෙනවා. හරියට ගප්පියට දැන් වෙලා තියෙනවා වගේ.
ගප්පියා දැන් එයාගේ ඕස්ට්‍රේලියන් වයිෆ්ව දාල කර වීඩියෝවලට අපිට කියන්න තියෙන්නෙ ‘ස්ටීරියෝ ටයිප් පිරිමි හදන කසිකබල් සෙක්සිස්ට් වීඩියෝ’ කියලා.
අපි කිව්ව වගේම වර්චුවල් තුළ අන්ධවුනාම පේන්නෙ කොච්චර ලයික්, හිට්ස් සහ ඒ හිට්ස් බැංකු ගිණුමට කොච්චර දානවද කියල විතරයි.
ස්ත්‍රීන් විතරක් නෙවෙයි කොටින්ම ‘මිනිස්සු ඔබ්ජෙක්ට්’ කරන වැඩවලට අපි කොහොත් විරුද්ධයි. ඒ වගේ වැඩ තවදුරටත් විකල්ප වැඩ නෙවෙයි. ඒවා බටහිරට පෙන්නුවත් ලංකාවේ ඉන්න උන්ට පෙන්නුවත් දේශපාලනික සහ සංස්කෘතිකව පර්වර්ෂන් වැඩ.
මේ කිව්ව ටික ගප්පියට විතරක් නෙවෙයි අනෙක් වර්චුවල් ස්පේස් එකේ ආර්ට් කරන සත්තුන්ටත් අදාලයි.
සටහන – පසන් ජයතිලක / Feb 08, 2016